ආනන්ද විද්‍යාලය

0Shares

ආනන්ද විද්‍යාලය ආරම්භ කරන ලද්දේ බෞදධ පරමවිඥානාර්ථ සංගමය විසිනි. ආරම්භයේදී එය හඳුන්වනු ලැබුවේ ඉංග්‍රීසි බෞද්ධ පාසල ලෙසිනි. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබීමට මිෂනාරි පාසල්වලට යාමට සිදුවන බෞද්ධ සිසුනට, බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි බසින් ශිල්ප හැදෑරීමට අවකාශ සැලසීම යි. මන්දයත් එකල බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ මිෂනාරි ඉංග්‍රීසි පාසල් වලිනි.

1886 වසරේ නොවැම්බර් මස පළමුදින ළමුන් 37 දෙනෙකුගෙන් යුතුව නො 61, මැලිබන් වීදිය, පිටකොටුව යන ස්ථානයේදී පාසල ප්‍රථමයෙන් ආරම්භ කරන ලදි. පළමු විදුහල්පතිතුමන් වූයේ සී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් මැතිඳුන්ය. 1889 වසරේදී පාසල නො 19, ප්‍රින්ස් වීදිය යන ස්ථානයට ගෙන යන ලද නමුත් 1895 වර්ෂයේදී, ඒ. ඊ. බුල්ජන්ස් මැතිඳුන් විදුහල්පතිව සිටි සමයේදී මරදානේ දැනට පිහිටි ස්ථානයට ගෙනයන ලද අතර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික මහරහත් ආනන්ද හිමිගේ නමින් පාසල ආනන්ද විද්‍යාලය ලෙස නම් කරන ලදි.

ඉතිහාසය
1881 පෙබරවාරි 8 : කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ පැමිණීම.
1885 මැයි 29 : සී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් මැතිඳුන්ගේ පැමිණීම.
1886 ඔක්තෝම්බර් 22 : ඉංග්‍රීසි – බෞද්ධ මන්දිරයේ ආරම්භය.
1886 ඔක්තෝම්බර් 23 : හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ ප්‍රධානත්වයෙන් පිටකොටුවේදී බෞද්ධ මහා සම්මේලනය පැවැත්වීම.
1886 නොවෙම්බර් 1 : නො 61, මැලිබන් වීදීයේදී ඉංග්‍රීසි – බෞද්ධ පාසල ආරම්භ කිරීම.
1889 ජනවාරි 16 : ප්‍රථම ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත් වීම.
1889 මාර්තු : ඉංග්‍රීසි – බෞද්ධ පාසලේ ලියාපදිංචිය.
1889 මැයි 27 : පළමු විභාගය පැවැත්වීම.
1889 අගෝස්තු : නො 61, මැලිබන් වීදියේ සිට නො 19, ප්‍රින්ස් වීදියට පාසල ගෙන යාම.
1889 දෙසැම්බර් : කේම්බ්‍රිජ් ජූනියර් විභාගය සමත් වු ප්‍රථම ආනන්දියා බවට ජේ.පී.ආර්. වීරසූරිය මහතා පත්වීම.
1890 : ඒ. ඊ. බුල්ජන්ස් මැතිඳුන් විදුහල්පති ලෙස පත්වීම.
1890 මාර්තු 1 : මිෂනාරි පාසල් වල විරෝධය හේතුවෙන් පාසල නො 54, මැලිබන් වීදියට ගෙනයාම.
1890 ඔක්තෝම්බර් : දෙවන ත්‍යාග ප්‍රධානොත්සවය පැවැත් වීම.
1891 නොවැම්බර් : කේම්බ්‍රිජ් ජූනියර් විභාගය ජර්මන් බසින් සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ආනන්ද ශිෂ්‍ය සී.සී. ජයතිස්ස මහතා පත්වීම.
1892 සැප්තැම්බර් : ශිෂ්‍ය සංඛ්‍යාව 200ක් බවට පත්වීම.
1893 නොවැම්බර් : ගොඩනැගිලි අරමුදලක් ආරම්භ කිරීම.
1892 – 1895 : ශ්‍රී සුමංගල හිමි විසින් කළමනාකාරීත්වය දැරීම.
1894 : ශිෂ්‍ය සංඛ්‍යාව 270ක් බවට පත් වීම.
1894 ජනවාරි 1 : ටියුඩර් රාජපක්ෂ මැතිතුමන් විසින් පරණ වීදිය පෙදෙසින් අක්කර 3.2ක් පාසල සඳහා පරිත්‍යාග කිරීම.
1895 අගෝස්තු 17 : ඉංග්‍රීසි – බෞද්ධ පාසල ආනන්ද විද්‍යාල බවට පත්වීම.

විශේෂ අවස්ථා
ආනන්ද ඉතිහාසයේ විශේෂ අවස්ථා ලෙස, ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මාන ලාභියා වන රබින්ද්‍රනාත් තාගෝර්තුමා 1922 වසරේ නොවැම්බර් දහවන (10) දින පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට ආරාධිත අමුත්තා ලෙසින් සහභාගීවීම සහ 1927 වසරේ මහත්මා ගාන්ධිතුමන්ගේ පැමිණීම දැක්විය හැක.

ආනන්ද විද්‍යාලයේ අද දවස
අක්කර 20ක භූමි භාගයක් පුරා පැතිර ඇති පාසලේ 13 වසර දක්වා පංති පැවැත්වෙන අතර සිසුන් 7000කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි. සිප් සතර ලබා දීම සඳහා එස්.එම් කීර්තිරත්න විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වය යටතේ 200කට අධික අදුරු මඩුල්ලක් සිටිති.

සමිති සහ සංගම්
බෞද්ධ සංගමය
ගුවන් විදුලි සංගමය
ප්‍රවෘත්ති විකාශන ඒකකය
සෞඛ්‍යදාන ඒකකය
රිය නියාමක ඒකකය
බාලදක්ෂ සමාජය
ශිෂ්‍ය භට බලකාය
තොරතුරු තාක්ෂණ සමාජය
සංගීත කවය
නර්තන කවය
හෙළ සිසු හවුළ
තාරකා විද්‍යා සංගමය
රසායන විද්‍යා සංගමය
වාණිජ සංගමය
කථික සමාජය
ඉංග්‍රීසි නාට්‍ය සංගමය
ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
පරිසර සංගමය
පුරාවිද්‍යා සංගමය
ඉන්ටරැක්ට් සමාජය
සිංහ සමාජය
ගණිත සංගමය
ජාතික ඉතිරි කිරීමේ බැංකුව
ඡායාරූප කලා සංසදය
දැණුම මිනුම සමාජය
නව නිපයුම් ඒකකය
අමද්‍යප සංගමය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*