දහම් අධ්‍යාපනය

0Shares

දහම් අධ්‍යාපනය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි මාර්ගය නොහොත් පිළිවෙත අධ්‍යයනය කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ලෞකික ජීවිතයේ දී කුමන ආකාරයෙන් අ‍ෙප් ජීවිතයට සම්බන්ධ වන්නේද යන්න පිළිබඳ විමසා බැලිය යුතු ය. එහිදී දහම් අධ්‍යාපනයේ ඇති වැදගත්කම හා එහි ඇති වටිනාකම තුලනය කිරීමට ගතහැකි මිනුම් දණ්ඩ ලෙස යොදා ගනු ලබන්නේ පුද්ගල විපර්යාසයයි.

ආත්මෙන් ආත්මෙට ගමන් කරන පුද්ගල පුරුදු වෙනස් කිරීම අපහසු කාර්යයක් වුවද, එය ධර්මය තුළින් වෙනස් කිරීමට පුළුවන්කමක් ඇත. එය අධ්‍යාපන රටාවකට අනුව පාඩම් මාලාවකින් සිත් වලට කා වැද්දීමට උත්සාහ කිරීම දහම් අධ්‍යාපනයේ පරමාර්ථයයි‍. දහම් අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ නොමඟ ගිය පිරිස් සුමගට ගැනීම සඳහාය. එය බුදුන් දවසද සිදුවිය.

උපතින් පුද්ගලයා ප්‍රභාස්වර වුවද, ක්‍රම ක්‍රමයෙන් වැඩි වියට පත් වීමත් සමඟ ආගන්තුකව එන ක්ලේශ ධර්මයන් නිසා පුද්ගලයා වෙනසට බඳුන් වේ. ඕනෑම පුද්ගලයෙක් රාග, දෝෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි විතක්ක යන චරිත හයෙන් එකකට හෝ කීපයකට හසු වේ. ඒ අනුව සලකා බැලීමෙන් වුවද දහම් අධ්‍යාපනික වටිනාකම තහවුරු වේ.

වර්තමානයේ දහම් අධ්‍යාපන‍යෙන් සිදුවන සේවය කියා නිම කළ නොහැකිය. දහම් අධ්‍යාපනය පුළුල් වශයෙන් දියත් කිරීම උදෙසා දහම් පාසල් ක්‍රමය ආරම්භ විය. ඒ සඳහා පළමු දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1895 අගෝස්තු මස 03 වන දින, ගාල්ල වැලිවත්තේ විජයානන්දාරාමයේ දී, ඇමරිකන් ජාතික ඕල්කට්තුමා හා රුසියන් ජාතික බ්ලැවැස්ට්කි යන දෙපලගේ ප්‍රධානත්වයෙනි.

දහම් පාසල් ආරම්භයත් සමඟම මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ විපර්යාසයක් සිදු විය. එනම් මෙතෙක් පැවැති පාසල් අධ්‍යාපනය මඟින් මොළය දියුණු කළ ළමයා ඊට පසු හදවත දියුණු කිරීමටද පුරුදු වීමය. දම් සිසිල ළමයාගේ හදවතට ලබා දීමට පන්සල තුළම දහම් පාසල බිහිවීම ලක් වැසියා ලද සදාචාරාත්මක දියුණුවක ප්‍රගතියයි. “අධ්‍යාපනය යනු ජීවත් වීමේ ක්‍රියාවලියක් මිස අනාගත ජීවිතය සඳහා ජීවත් වීමක් නෙවේ” යන ‍ෙජාන්ඩිව් නම් වූ අධ්‍යාපනඥයාගේ මතයට සාපේක්ෂව දහම් පාසල් අධ්‍යාපනය ද ප්‍රායෝගික වශයෙන් ජීවිතයට සම්බන්ධ කර එයින් නිවැරදි ගමන් මඟ පාදාදීමක් සිදුකර දී ඇත.

දහම් පාසලක් තුළින් මූලික විෂය කරුණු ඉගැන්වීමක් සිදු නොකරන අතර, පුද්ගලයා හික්මවා, ගුණ ගරුක චරිතවත් කෙනෙකු බවට පත්කරවන හෙවත් චරිත සංවර්ධනයක් සිදු කරන මධ්‍යස්ථානයක් බව පළමුව සිහියට නගා ගත යුතුව ඇත. ඒ සඳහා බුද්ධ චරිතය, ජාතක කථා මාලා හා ආදර්ශවත් චරිත මත පදනම් වූ විෂයානුබද්ධ කරුණු උපයෝගී කරගනු ලැබේ. එය සෑම දරුවෙක්ම දැරියක්ම ලබාගත යුත්තේ ළමා මනස ගුණ ධර්ම පහන් සංවර්ධනය කර ගැනීම ‍උදෙසාය.

බුද්ධිමත්ව සිතාබලා හදවතින් ක්‍රියාකළ හැකි උත්තරීතර සත්පුරුෂයෙකු සමාජයට දායාද කර දීමේ වගකීම අද දහම් පාසල් තුළින් ඉහළ මට්ටමකින් සිදු වන ආකාරය දැකීම සතුටට කරුණකි‍. එහිදී සමාජය, රට ලෝකය ගමන් කරන ආකාරය දෙස බලා දහම් අධ්‍යාපනය අවතක්සේරුවට පත් නොකළ යුතුය. දහම් අධ්‍යාපනය නොලැබූ ළමයාගේ ස්වභාවය වන්නේ දෙමාපියන්, වැඩිහිටියන්, මහණ බමුණන් නොහඳුනන යුතුකම් ඉටු නොකරන, ආත්මාර්ථකාමී ලොවක් තුළ අගතිගාමීව ඔහුගේ ගුරුවර, දෙමාපියන් හා ඥාතීන් මෙන්ම තමාගේ අභ්‍යන්තරයද හඬවමින් දිවි ගෙවීමය. එනමුදු දහම් අධ්‍යාපනය ලබන දරුවා උතුම් වූ ප්‍රතිපදා මාර්ගයක් නිසි කළ සිට හදවත තුළට කාවද්දාගෙන ඒ තුළින් පෝෂණය වී හාත්පසම සුගන්ධවත් කරවන පියුමක් විලසින් දිවි ගෙවනු ඇත.

වත්මන් සමාජ තත්ත්වය දෙස බැලීමේ දී ළමා පරපුර යොමු වන පරිසරය කුමන ආකාරයක එකක්ද යන්න පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීමත්, එවැනි ළමා පරපුරට දහම් අධ්‍යාපනයේ වටිනාකම පහදා දීමත් වැඩිහිටියන්ගේ බලවත් යුතුකමකි.‍ එහිදී කුමන ආකාරයේ සිතුම් පැතුම් හැඟුමන් ඇති අය සමඟද බාල පරපුර මිත්‍ර වී සිටිනුයේ යන්න ගැන සැළකිලිමත් වීම වැදගත් වේ.

“අප වී අහුරක් අතට ගෙන යම් ප්‍රදේශයකට විසිරී යන අයුරින් විසිකර දැමුවහොත් ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද,? කටුපඳුරු වැනි වනලැහැබකට වැටුණු වී ඇට අසාර්ථක වර්ධන උත්සාහයක් ගන්නා බවද, ගල්මත වැනි තැන්වල වැටුණු වී ඇට ‍ෙබාල් වී ගොස් විනාශ වන අයුරුත් තරමක තෙත් සහිත තණ මත වැටුණු වී ඇට තරමක වර්ධනයක් ගන්නා අයුරුත්, මඩ සහිත සුදුසු තැනකට වැටුණු වී ඇට සාර්ථකව වැටී පැළවෙන අයුරුත් ද, දැකගත හැකියි‍.”

මෙම කරුණු පිළිබඳ විමසා බැලීමේ දී ළමා පරපුර යෝග්‍ය සුදුසු පරිසරයකට යොමු කළ යුතුව තිබෙන්නේ එය රටක අරමුණක් හැටියට බුද්ධිමත් ගුණ ගරුක උතුම් දරුවෙකු බිහිකර ගැනීමේ අවශ්‍යතාවය නිසාවෙනි.

ළමා මනස තුළ හැමදෙයක් කෙරෙහිම ආදරයක්, සුබවාද‍ී ආකල්පයක් ඇතිවන අයුරින් ක්‍රියාකිරීම දහම් ගුරුවයාගේ වගකීම හා යුතුකම වන්නේය. ඔවුන් තුළ දැනුම ආකල්ප කුසලතා ඇතිවන අයුරින් ක්‍රියා කළ යුතුව ඇත්තේ ඉතා සැලකිල්ලෙන් හා ඉවසීමෙන් බව මතක තබාගත යුතු කරුණකි.

කුමන අවස්ථාවකවත්, ළමා මනස තලා පෙලා දැමීම නුසුදුසු වේ. දඬුවම් කිරීම නොකළ යුතු වුවද අවශ්‍ය තැනක දී මානුෂික දඬුවම් ක්‍රමද කළ යුතුව ඇත. තිලමුට්ඨි ජාතක කතා වැනි දේවල් තුළින් මෙහි ගුණ අගුණ කියාදීමට පුළුවන. මිනිසා තුළ ආදරය හා විශ්වාසය නැති වී යන විට ළමා මනස අපවිත්‍ර වීමේ ප්‍රවණතාවය වැඩි බව සිහියේ තබාගත යුතුය. එතුළින් සිදුවන්නේ අසහනකාරී ලොවකට ළමා මනස පත් කිරීමය. එනිසා ළමා පරපුරට ප්‍රධාන වශයෙන් ආදරය අවශ්‍ය වේ. ඔවුන්ට ආදරය කරන්නේ වැඩිහිටියන් පමණක් නොව දෙවියන් බඹුන් හා සතුන් ඇතුළු ජීව ලෝකයද ගස්වැල් වැනි ආජීව ලෝකයද දරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත.

නුග ඇටය කොතරම් පුංචි වුවත් එයින් නිර්මාණය වන වෘක්ෂය මොනතරම් විශාලද? එයට හේතුව එතරම් ගසක් බිහි කිරීමේ ජීව ශක්තියත්, ගුණයත් එහි තිබීමය. ඒ ආකාරයෙන් ළමා මනසත් හඳුනාගෙන එම ජීව ශක්තිය ප්‍රගුණ කළ යුතුයි. එය දහම් ගුරුවරයා සතු ප්‍රබල සාධකයකි. ඉපැරණි සමාජය තුළ ගුරුවරයාට දේවත්වයෙන් සැලකුවේ ද මෙකී උදාරත්වයන් ඉලක්ක කර තිබූ බැවිනි.

දහම් අධ්‍යාපනයේ දී දරුවා ක්‍රමක්‍රමයෙන් මානසික සංවර්ධනයක් ඇති කර ගනු ඇත. පාසලේ දී විද්‍යාව, තාක්ෂණය, ගණිතය වැනි මූලික විෂය ධාරාවන් ප්‍රගුණ කරනු අතර, දහම් අධ්‍යාපනයේ දී කරුණාව, දයාව, මෛත්‍රිය, සත්වයාටම යහපත පිණිස පවතින උතුම් මානුෂික ගුණාංග වඩා වර්ධනය කරගනු ඇත. ම :නි: ගණන මොග්ගල්ලාන සූත්‍රයට අනුව පුද්ගලයෙකු අභිවෘද්ධිය සලසා ගත යුත්තේ ක්‍රමක්‍රමයෙන් ය. එය “අනුපුබ්බි සික්ඛා, කිරියා, පටිපදා” යනුවෙන් දේශනා කොට ඇත.

විශේෂයෙන් අද දහම් අධ්‍යාපනයට ලැබී ඇති වටිනාකම මීට වඩා වැඩි දියුණු කළ යුතුය. ඒ සඳහා ඉරිදා වැනි දිනය තුළ ටියුෂන් නවතා ළමයින් දහම් පාසල් වලට යොදවන නෛතිකමය ක්‍රමයක්ද ඇති විය යුතුය. එලෙසම දහම් අධ්‍යාපනයට තව තවත් නැඹුරුවීමේ දේශනා ක්‍රම ඇති කළ යුතුය. එහිදී ළමයින්ට දොස් පැවරීමට වඩා දෙමව්පියන්ගෙන් විය යුතු වගකීම නිසියාකාරව ඉටුවන්නේ ද යන්න පිළිබඳ සිතිය යුතුය. සතියකට එක දිනයක් පමණක් පවතින දහම් පාසලට තම ළමයා යවා තම දරුවා දහම් අධ්‍යාපනයකට හුරු කිරීමට අපොහොසත් වන දෙමව්පියන් ඒ ගැන පසුතැවිලි විය යුතුය.

අද ළමා පිරිස රැල්ලට ගසාගෙන යාමක් සිදුවී ඇති අතර, එතුළින් ගුණධර්ම, සදාචාරය, සභ්‍යත්වය ආදිය පිරිහීමකට ලක්වී තිබේ. දහම් පාසලක් ආරම්භ කිරීමක් යනු හිර ගෙදරක් වැසීමක් වැනිය. මේ ආදී කරණු සිහියට ගෙන දෙමාපිය, ගුරුවරු, වැඩිහිටි පමණක් නොව සමාජයේ වගකිවයුතු සෑම අංශයකම පිරිස් දහම් අධ්‍යාපනය හා ළමයා පිළිබඳ මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතු බව මතක් කිරීමට කැමැත්තෙමි.

කොබෙයිගනේ පුබ්බිලිය
ශ්‍රී සාරානන්ද පිරි‍ෙවනෙහි ආචාර්ය
ගලගෙදර රතනවංශ හිමි

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*