​දහම් පාසල් ඉතිහාසය සහ බැඳීම

0Shares

1895 අගෝස්තු තුන්වැනිදා ගාල්ල වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානයේ ආරම්භ කළ දහම් පාසල මෙරට මුල්ම දහම් පාසලයි.

මේ දහම් පාසල එදා හැඳින්වූයේ ඉරිදා ඉස්කෝලේ කියාය. එහෙත් දැන් දහම් පාසලට ඉරිදා ඉස්කෝලේ කියන කෙනෙක් නැත. එය දැන් සපුරා හඳුන්වන්නේ දහම් පාසල කියාය.

1895 ගාල්ලේ විජයානන්ද පිරිවෙනෙන් ඇරඹි දහම් පාසල, නූතන බෞද්ධ දරුවා බිහි කළේ යැයි කීමේ වරදක් නැත. මාරි මියුසියස් හිගින්ස්, බෞද්ධ කාන්තාවන්ට හදා ඇන්දූ ළමා සාරිය සමාජයේ ප්‍රචලිත කෙරුණේ දහම් පාසල් මගිනි. රජයේ පාසල් සියල්ල කලිසම් කමිස අඳිද්දී දහම් පාසල් දරුවෝ පමණක් ජාතික ඇඳුම අඳිති. එසේම දැන් විවාහ මංගල්‍යවල නොවැරදී ගැයෙන ජය මංගල ගාථා බාලිකාවන් ලවා ගායනා කිරීමේ සිරිත ගෙනාවේ ගාල්ලේ විජයානන්ද දහම් පාසලෙනි. අද රාජ්‍ය ජාතික උත්සවවල මේ ජය මංගල ගාථා අත්‍යවශ්‍ය සංස්කෘතික කාරණයකි.

දහම් පාසල නූතන බෞද්ධ දරුවකු තැනුවා සේම මෙරට අධ්‍යාපනයේ තිබෙන දැවැන්ත හිඩැසක්ද පුරවාලූවේය. සාමාන්‍යයෙන් පාසලේ කැපී පෙනෙන්නේ ඉදිරියට තල්ලු කෙරෙන්නේ ඉංග්‍රීසි, විද්‍යාව, තාක්ෂණය ආදී විෂයයන්ට ඉහළ ලකුණු ලබා ගන්නා දරුවන්ය. නැතිනම් ක්‍රීඩාවට හපන්කම් ඇති දරුවන්ය. මේවා නැති එහෙත් නායකත්ව හැකියා ඇති වෙනත් කුසලතා ඇති දරු දැරියෝ අපමණ වෙති. ඔවුන්ට හිස ඔසවන්නට ලැබෙන්නේ දහම් පාසලේ නිදහස් වටපිටාවේය. කථිකයෝ, විවාදකයෝ මෙන්ම කාව්‍යකරුවෝ කරළිය තනා ගන්නේ දහම් පාසලෙනි. එසේම එහි තිබෙන ශිෂ්‍ය සමිතිද, විවිධ බෞද්ධ සංගම්ද නොයෙකුත් හැකියාවන් තිබෙන දරුවන්ගේ තෝතැනිය.

එසේම පාසල් අධ්‍යාපනය, සමාජ බැඳීම ඇති කරවන්නකි. පාසල් අධ්‍යාපනය සැකසී තිබෙන්නේ ගැමි දරුවා නගරයට ඇදගෙන යාමටය. දැන් ගැමි දරුවා ගමේ එකා නොහඳුනයි. පැටි වියේ සිට ගමේ එකිනෙකා හඳුනාගෙන දුක සැප බෙදාගෙන පොදු විපත්තියකදී සාමූහිකව ගමේ කමට එක්වීම පාසල් අධ්‍යාපනය විසින් අහිමි කරයි. මේ නගරයට ඇදගෙන ගොස් සමාජ කතරේ මංමුළා කෙරෙන ගැමි දරුවන් එකතු කරන තැන හැටියට ඉතිරිව තිබෙන්නේ ගමේ පන්සලේ දහම් පාසලයි.

පාසලේ තිබෙන්නේ නිදහස් අධ්‍යාපනයය. දහම් පාසලේ තිබෙන්නේ අධ්‍යාපනයේ නිදහසය. මේ වසර 135 පුරාම දසදහසකට අධික දහම් පාසල්වල ඉගැන්වූයේ නිදහස් පූර්ණ නිදහස් ගුරුවරුය. ඔවුන් සත පහක දෙයක් තුඩු පඬුරු ලෙස බලාපොරොත්තු නොවූ රජයකින් කිසිදු ධෛර්යයක් නොලත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකි. හැම තත්පරයක්ම මුදලට විකුණන ගුරුන් ටියුෂන් කාරයන් වූ සමාජයක නොමිලේම තම කාලය, දැනුම, ශ්‍රමය පුදන දහම් පාසල් ගුරු උතුමන් රටට පෙන්වන්නේ අපේ ජාතියේ හරවත් බවයි.

එබැවින් දහම් පාසල යනු මේ සමාජයේ පටිසෝතගාමී ආයතනයකි. තරගකාරීත්වයට අධර්මයට ගලා යන සමාජයක උඩුගං බලා පිහිනීමට තිබෙන ආයතනයයි.

එහෙත් ඇතැම් තැනක මේ දහම් පාසලේ පටිසෝතගාමී ගමන වෙනස් කෙරෙන ලකුණු පෙනේ. ගමේ දහම් පාසලට වඩා ඉංග්‍රීසියෙන් ධර්මය උගන්වන නගරයේ දහම් පාසලට සිසුන් යවන්නට පොරකන බව පෙනෙයි. දහම් පාසල් යන බොහෝ දරුවන් ඉගෙන ගන්නේ බණ මඩුවේ නොව බෝ සෙවණ ඇතුළු ගස් සෙවණේ වැලි මළුවේය. බුදුන් වනයේ එකලාව ඇවිදිමින් විඳි අමා සුව අමතක කරන ඇතැමුන් දහම් පාසල් දරුවන්ට ඒ.සී. පන්ති කාමර තනවන අවස්ථාද තිබෙයි. එමතු නොව මෙතෙක් දහම් පාසලේ තිබුණේ අධ්‍යාපනයේ නිදහසය. විෂය ඉගැන්වීමක්, විභාගයට වාඩිකර ලකුණු දී දහම් දැනුමෙන් පමණක් හිස පිරුණු පාසල් සිසුවකු නැතිනම් ටියුෂන් දරුවකු බිහි කිරීම එහි අරමුණ නොවීය. දහම් පාසලේ අරමුණ ධර්මය කියවන්නකු නොව ධර්ම මාර්ගයේ යන සංසුන් බෞද්ධ චරිතයක් තැනීමය. එබැවින් චරිත නොහදන, සාරධර්මවලින් තොර පාසල් අධ්‍යාපනයේ ශාඛාවක් බවට දහම් පාසල පත් නොකළ යුතුය.

දහම් පාසල් නංවන්නට කටයුතු කරන බව කියන මේ මොහොතේ අප කිව යුත්තේ එය කිරීමට පෙර ‘එව බලව’ කියාය. දහම් පාසලේ පටිසෝතගාමී ගමන ආරක්ෂා කළ යුතුය කියාය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*