දියුණුවේ දොරටු විවර කර ගනිමු

0Shares

(ඌරුගමුවේ අස්සජී හිමි)

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවෙක කක්කරපත්ත නමැති කෝලිය ගමට වැඩම කළහ. එහිදී ව්‍යග්ඝපජ්ජ වංශික දීඝජානු නමැති කෝලිය පුත්‍රයා බුදුරදුන් හමුවීමට ගොස් එකත්පස්ව හිඳ මෙසේ පැවසී ය.

“ස්වාමීනි, අපි පස්කම් සුව අනුභව කරමින් අඹුදරුවන් නිසා වන කරදර සහිතව ගිහි ගෙදර වාසය කරමු. කසී රට සුවඳ සඳුන් පරිභෝග කරමු. මල් ගඳ, විලවුන් භාවිත කරමු. රන් රිදී මසු කහවණු ඉවසමු. ස්වාමීනි, මෙසේ ජීවත්වන අපට මෙලොව හිත සුව පිණිස, පරලොව හිතසුව පිණිස උපකාරවන්නා වූ ධර්මයක් දේශනා කරන සේක්වා!”

මෙහි දී බුදුරජාණන් වහන්සේ මිනිසාගේ මෙලොව හිත සුව පිණිස පවත්නා කරුණු සතරක් ද, පරලොව හිතසුව පිණිස පවත්නා කරුණු සතරක් ද දේශනා කළහ. එයින් මෙලොව හිතසුව පිණිස හේතුවන කරුණු සතර නම් උත්සාහ සම්පත්තිය (උට්ඨාන සම්පදා) ආරක්ෂා සම්පත්තිය (ආරක්ඛ සම්පදා) ආරක්ෂා සම්පත්තිය, කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය (කල්‍යාණ මිත්තතා) හා පමණ දැන සමව ජීවත්වීම යි. (සමජීවිකතා)

මෙයින් “උට්ඨාන සම්පදා” යනු කුමක්දැයි, පහදවමින් බුදුරදුන් දේශනා කළේය.

“ව්‍යග්ඝපජ්ජය, උට්ඨාන සම්පදාව නම් කුමක් ද?
මේ ලෝකයේ යම්කිසි කුල පුත්‍රයෙක් ගොවිතැනින් හෝ වෙළෙඳාමෙන් හෝ ගව පාලනයෙන් හෝ දුනු ශිල්පයෙන් හෝ රාජ්‍ය සේවාවෙන් හෝ වෙන යම්කිසි ශිල්පයකින් හෝ දිවි පවත්වයි නම්, ඒ තමන් කරන කාර්යයෙහි දක්ෂ වෙයි ද, අලස නොවේ ද, ඒ කාර්යයෙහි උපායෙන් හා විමසීමෙන් යුක්ත වේ ද, එය කිරීමටත්, සංවිධානය කිරීමටත් සමත් වේ ද, මෙය උට්ඨාන සම්පදා නම් වේ.

තමන්ගේ හැකියාව හඳුනාගන්න

මේ අනුව මෙමගින් වඩාත් ඉස්මතු කොට පෙන්වා දී ඇත්තේ තමන් යම්කිසි ජීවන මාර්ගයකින් දිවි පෙවෙත ගෙන යන්නේ ද ඒ පිළිබඳව තමා,

දක්ෂ විය යුතුය

අලස නොවිය යුතු ය,

එය උපායෙන් හෝ විමසීමෙන් කළ යුතු ය.

එය කිරීමටත්, සංවිධානය කිරීමටත් දක්ෂ විය යුතු ය. කිසියම් කාර්යයක් සපල කරගැනීමට නම් ඒ පිළිබඳ දක්ෂකමක් තිබිය යුතු ම ය. කෘෂි කර්මාන්තය, වෙළඳාම රාජ්‍ය සේවය යනාදී රැකියාවක නිරතවන්නා එකී කර්මාන්තය පිළිබඳව දක්ෂවිය යුතු ය. දක්ෂතාව ඇති වන්නේ ඒ පිළිබඳ ඇති ඇල්ම, දැනුම ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු හේතුකොටගෙන ය. ලෝකයේ ඇතැම්හු උත්පත්තියෙන්ම යම් යම් දේට දක්ෂ වෙති. සංසාර පුරුද්ද එයට හේතුව යැයි, සිතිය හැකි ය. එසේ නොමැති වුවත් අධිෂ්ඨාන ශක්තියක් ඇති පුද්ගලයාට අවශ්‍ය ඒ ඒ ක්‍රියාවන් කෙරෙහි දක්ෂකමක් ඇති කරගත හැකි ය.

මිනිසා තුළ ඇති ක්‍රියා ශක්තිය ඉතා විශාල ය. එහෙත් බොහෝ දෙනා එයින් ප්‍රයෝජන ගනුයේ ඉතා අල්ප වශයෙනි. තමා තුළ පිහිටි ක්‍රියා ශක්තියෙන් නියම අයුරින් ප්‍රයෝජන ගන්නේ නම් ඕනෑම පුද්ගලයකුට දියුණු විය හැකි ය. එසේම තමා තුළ ඇත්තේ කවර දේකට අදාළ දක්ෂකමක් දැයි, යන්න හොඳින් තේරුම් ගෙන කෙනෙකුට දියුණුූ විය හැකි ය. එක් එක් පුද්ගලයා තුළ ඇත්තේ එක් එක් දේ පිළිබඳ දක්ෂකමෙකි. බොහෝ දේ පිළිබඳ දක්ෂකම් ඇත්තෝ ඉතා විරලය හ.

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත”

යැයි, අපේ පැරණි කියමනක් ඇත්තේ එහෙයිනි. එසේ හෙයින් තමා තුළ ඇති දක්ෂකම තෝරාගෙන ක්‍රියා කිරීම තමන් සතු කාර්යයකි. මේ අනුව උට්ඨාන සම්පදා ඇතිකර ගැනීමට දක්ෂබව බෙහෙවින්ම හේතුවන බව පැහැදිලි ය. අදක්ෂ පුද්ගලයා මෙලොව හා පරලොව යන දෙඅංශයෙන් ම පිරිහීමට පත් වේ. කරණීය මෙත්ත සූත්‍රයෙහි “සක්කෝ” යන්නෙන් අදහස් වන්නේ ද මෙම දක්ෂ බවයි.

අලස වුණොත් පිරිහෙනවා
උට්ඨාන සම්පදා ඇතිකර ගැනීමට අවශ්‍ය අනෙක් කරුණ නම් “අනලස් බව “ යි. එනම් කම්මැලි නොවීමට යි. පරාභව සූත්‍රයේ දී අලස බව පිරිහීමේ කරුණක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. සිඟාලෝවාද සූත්‍රයේ දී මෙහි ආදීනව මෙසේ වදාළහ.

දැන් ඉතා ශීත ය. ඉතා උෂ්ණ ය. ඉතා සවස් ය. ඉතා උදේය. ඉතා බඩගිනි ය. ඉතා බඩ පිරුණේ යැයි, වැඩ නො කරන්නා ගේ ධනය පිරිහෙයි. අමුතු ධනයකුදු ඇති නො වෙයි. මෙසේ අලසකමින් සිතන්නාට වැඩ කිරීමට කාලයක් නොමැත. උත්සාහවත් පුද්ගලයාට සිදු කළ නොහැකි දෙයක් නැති බව “උට්ඨානවතො භික්ඛවෙ කිං නාම න සිජ්ඣති” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙම වීර්යයට විරුද්ධ ධර්මය “ථීනමිද්ධය”යි. එනම් චිත්ත චෛතසිකයන්ගේ මැලි බවයි. මෙය නැතිකර ගැන්මට වීර්යය සයක් අනුව ගමන් කළ යුතු බව අත්තකාර සූත්‍රයේ සඳහන් වී තිබේ.

ආරම්භ ධාතු
යම්කිසි කාර්යයක් ආරම්භ කිරීමේ වීර්යය,

නික්කම ධාතු

ආරම්භ කළ කාර්යය නොනවත්වා ඉදිරියට කරගෙන යෑම,

පරක්කම ධාතු

පැමිණි සෑම උවදුරක් ම මැඩගෙන ඉදිරියට යාම,

නොසැලී පැවතීම – ථාම ධාතු,

වීර්යයෙහි පිහිටා සිටීම,

උපක්‍රමශීලිවීම – උපක්කම ධාතු

මෙම පියවර සය නිවැරැදිව ක්‍රියාත්මක කරන්නේ නම්, කිසිදු කාර්යයක් අතරමඟ නතරකර දැමීමට සිදු නොවේ. පුද්ගල ශ්‍රමය වැය කිරීමේ දී බාහිර බලවේග පිළිබඳ විශ්වාසය නො තබා ස්වකීය ශක්තියම යෙදවීමට කරන උත්සාහයක් මෙමඟින් අදහස් වෙයි.

උපායශීලි වීම හා විමර්ශනශීලි වීම
උට්ඨාන සම්පදා ඇතිකර ගැනීමට අවශ්‍ය තෙවැනි කරුණ ලෙස මෙය දැක්විය හැකි ය. කර්ම විපාකයේ දී බලපාන බාහිර කරුණු සතර අතර “ප්‍රයෝගය” ද එකකි. ප්‍රයෝගය යනු උපාය යි. “උපාය දන්නෝ අපායේ නොවැටෙති” යන පිරුළ ඇතිවූයේ ඒ නිසා විය යුතු ය. මෙලොව දියුණුවට අවශ්‍ය ගොවිතැන්, වෙළඳාම් ආදි දේ දියුණුකර ගැනීමට උපායෙහි දක්ෂ බව ඇති විය යුතු ය.

මිථ්‍යා උපාය ( වැරදි උපාය) සහ සම්මා උපාය ( නිවැරදි උපාය) යනුවෙන් උපාය මාර්ග දෙකක් ඇති බව ද මෙහි දී වටහාගත යුතු ය. මින් අනුනට පීඩා පමුණුවන වැරදි උපාය මාර්ගයන් සහමුලින් ම බැහැර කළ යුතු ය. නිවැරදි උපාය මාර්ග පමණක් භාවිතයට ගත යුතු ය. කිසාගෝතමියට කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්නැයි, බුදුරදුන් වදාළේ සම්‍යක් උපාය මාර්ගය මුල් කරගෙන ය. එනම් තමා පත්ව ඇති තත්ත්වය තමාටම තේරුම් ගැන්මට ඉඩකඩ සැලසීමයි.

ලෞකික රාජ සම්පත් සියල්ල අත්හැර අභිනිෂ්ක්‍රමණය කොට බුද්ධත්වයට පත්වූ බුදුරදුන් පිටුපස රාහුල කුමරු දායාද ඉල්ලා පිටත්කොට හැරියේ උන්වහන්සේ ලත් පරම සුවය ඔහුට ද ලබාදීමේ අපේක්ෂාවෙනි. යශෝධරා දේවිය බුදුරදුන්ට ලෞකික වශයෙන් දිය හැකි දායාද කිසිවක් නොමැති බව පැහැදිලිව ම දන්නී ය. සිය පුත් කුමරු ද ලෝකෝත්තර මාර්ගයට ඇතුළත් කිරීම සඳහා යශෝධරා දේවිය යෙදූ සම්‍යක් උපායක් ලෙස පුත්කුමරු දායාද ඉල්ලා පිටුපස යැවීම දැක්විය හැකි ය.

උපාය සමඟ විමසා බලා කටයුතු කිරීම ද අත්‍යවශ්‍යය. නොවිමසා නොසිතා කටයුතු කරන්නා දියුණුූ නොවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. කල්පනා ශක්තිය යෙදවීමක් නැතිව, අවිචාරවත් ලෙස ක්‍රියා කරන්නා දෙලොවින් ම පිරිහෙයි. එය පැවිදි වුවහොත් රහත්වීමටත්, නිසි සේ ගිහි ජීවිතය ගත කළේ නම් මහසිටු වීමටත් වාසනාව තිබිය දී නොනිසි ලෙස ක්‍රියාකොට සිඟන්නකු බවට පත් වූ රජගහනුවර සිටාණන් ගේ කතාවෙන් පැහැදිලි වේ. විමසීමෙන් හා උපායෙහි දක්ෂව ක්‍රියා කරන්නා ඉතා සුලු දෙයකින් පවා දියුණුවන අයුරු මළ වී කුණක් විකුණා සිටුවරයකු වූ පුද්ගලයෙකු ගැන කියවෙන චුල්ලසෙට්ඨි කතා පුවතෙන් විග්‍රහ කෙරේ.

කුඩා ගිනි පුපුරකින් මහා ගින්නක් මෙළොවන්නා සේ ඉතා කුඩා දෙයකින් විශාල ධනයක් උපයාගත හැකි යැයි, බුදුරජාණන් වහන්සේ වදාළහ. එසේ කළ යුත්තේ අනුන් තලා පෙළා හිංසා පීඩා කොට අධාර්මික ලෙසින් නොවේ. ධාර්මිකව යෙදූ උපාය ශක්තියෙන් හා විමසීමේ නුවණිනි.

උට්ඨාන සම්පදාව ඇතිකර ගැන්මට අවශ්‍ය සිවු වැනි කරුණ ලෙස ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි සඳහන්ව ඇත්තේ සංවිධානයෙහි දක්ෂ බවයි. කිනම් කාර්යයක වුව ද පිළිවෙලක්, සංවිධානයක් තිබිය යුතුම ය. අසංවිධානාත්මකව සිදුකරන දේ සාර්ථක නොවේ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*